Monday, February 25, 2008

අනේ කාලේ ලංකාවේ වාසේ...

ලංකාවේ දේශපාලනය කියන්නේ කතා කරන්න අකමැතිම, අප්‍රසන්නම මාත්‍රුකාවක්. ඒ තරමටම ඒක තිත්ත වෙලයි තියෙන්නේ. ඒත් පහු‍ගිය දවසක පත්තරේක තිබුන ලිපියක් නිසා මේ ටික ලියන්නම හිතුනා.

ගිය සුමානේ දිනපතා පත්තරේක තිබුනා, මේ දේශපාලනය කියන 'රස්සාව', එහෙම නැත්නම් 'බිස්නස්' එක කරන 'උතුමාණන් වහන්සේලා' ලක්ෂ 50කට රක්‍ෂණය කරන්න 'අමාත්‍ය මණ්ඩල' අනුමැතිය ලැබුනාය කියලා. ඒ එයාලට ත්‍රස්තවාදීන්ගේ මරණ තර්ජන තියෙන නිසාලු. තමන්ට තර්ජන තිබෙනවා කියලා, තමන් විසින්ම රක්‍ෂණ අාවරණයක් ලබාගන්න තීරණය කරලා, ඒකට තමන් විසින්ම අනුමැතියත් ලබාදීලා! හැබැයි රක්‍ෂණ අාවරණය ගන්නේ තමන්ගේ සල්ලි වලින් නෙමෙයි. ඒක විතරක් අාණ්ඩුව ගානේ. හහ්.. නරකම නෑ වැඩේ!!

එතකොට ලංකාවේ ත්‍රස්තවාදීන්ගෙන් මරණ තර්ජන තියෙන්නේ ඒ උතුමාණන්ලාට විතරද? උතුරේ කොටි එක්ක යුද්ධ කරන ත්‍රිවිධ හමුදාවේ සහෝදර සහෝදරයින්ට ඔය කියන ත්‍රස්තවාදී තර්ජන නැත්ද? මායිම් ගම්මාන වල ඉන්න අහිංසක ජනතාවට ඔය තර්ජන නැත්ද? ඒ අහිංසකයින්ට ඔය කියන රක්‍ෂණ අාවරණ අකැපද?

අනිත් කාරණාව මේ උතුමන්ලාට මරණ තර්ජන තියෙන්නේ රටේ සාමාන්‍ය ජනතාවගේ වැරැද්ද නිසාද? ඔය කියන උතුමන්ලාම අවුරුදු විසිගානක් තිස්සේ කරපු 'දේශපාලනය' නිසාම නෙමෙයිද ඔය තර්ජන අැතිවෙලා තියෙන්නේ? මම එහෙම අැහුවේ ඔය රක්‍ෂණ අාවරණය සඳහා අාණ්ඩුව වියදම් කරන්නේ මහජනතාවගේ සල්ලි නිසයි. අනේ හැබෑටම මුලු රටක ජනතාවකට පහසුකම් සලසන්න තියෙන සල්ලි, දේශපාලන ලොකු පුටුවල ඉන්න කීපදෙනෙක් වෙනුවෙන් වියදම් කරන්න මුන්ට ලැජ්ජාවක් නැති හැටි!!

මේ රක්‍ෂණ අාවරණයට අහු නොවෙන, ඒත් සැබැවින්ම මේ රක්‍ෂණ අාවරණය ලැබිය යුතු තවත් වටිනා පිරිසක් ඉන්නවා. ඒ තමයි ඔය උතුමාණන් වහන්සේලාට අාරක්‍ෂාව සපයන ත්‍රිවිධ හමුදා සාමාජිකයින්. ත්‍රස්තවාදී තර්ජන තියෙන මැති අැමැතිවරු අාරක්‍ෂා කරන අාරක්‍ෂක භටයින්ට ඔය කියන ජාතියේ රක්‍ෂණ අාවරණයක් අරන් දෙන්න තරම් උවමනාවක් අපේ දේශපාලන ලොක්කොන්ට නැහැ. බැරිවෙලා හරි ඒ අාරක්‍ෂක භටයෙකුට අනතුරක් උනොත් ‍රුපියල් ලක්‍ෂයක් හමාරක් දීලා අැඟ බේරගන්න පුලුවන් නිසා වෙන්න අැති ඒ. පසුගිය කාලේ ත්‍රස්තවාදී ප්‍රහාරයකින් මිය ගිය අමාත්‍යවරයකුගේ අාරක්‍ෂක නිලධාරීන්ට සිද්ධ උනේ ඔය ටිකමනේ.

අපේ අාච්චි කියනවා වගේ, මෙව්වා ගැන කතා කරනවට වැඩිය හොඳයි කට බිම උලා ගන්නවා. ඒත් ඉතිං අැස් කන් පියාගෙන අැටි කෙහෙල් කාපු උගුඩුවෝ වගේ මේ නාටක දිහා හැමදාම බලාගෙන ඉන්න පුලුවන්ද?

3 comments:

samanalee said...

රටට දෙයියන්ගෙම පිහිටයි ....

ජය said...

දුක හිතෙන්නෙ,මෙන්න මේ දේ මතක් වෙනකොටයි.
මෙවැනි මැති ඇමති වරු හොර ඡන්ද වලින් පත් වූවන් නොවීමයි. යනු, මොවුන් කියන බයිල අහන මෝඩ ඡන්ද දායකයන් අප අතර සිටීමයි.

ඔහේ said...

අපි නිතරම දේශපාලකයන්ගේ වැරදි සෙවීමට ඉක්මන් වෙමු. නමුත්, ජීවන් කුමාරතුංග වැනි නාඩගම් හොර චන්ද වලින් බලයට පත් වූයේ නැත. මෙවැන්නන් හට චන්දය දෙන බූරුවන් අප අතර සිටී. පත්තරයක පිටු කීයක් අදත් හොරගොල්ල වලව්වේ, ඉලව් වලට ගොට්ට අල්ලන නපුංසකයන්ගේ ලිපි වලින් පිරී තිබේද?
අපි අපටම හරක් .....යෙන් ගසා ගත යුතු කාලය එළඹ ඇත.